“ගෙදර වගේ තැනක් නැහැ. ගෙදර වගේ තැනක් නැහැ”. “විසර්ඩ් ඔෆ් ඕස්” හි ඩොරති විසින් කියන ලද එම අමතක නොවන පේළි “ස්ටාර් වෝර්ස්” සිට “ලයන් කිං” දක්වා වූ බොහෝ කථාවන් තුළ කථාන්තර කීමේ උපකරණයක් එළිදරව් කරන්නේය. එය “වීරයාගේ ගමන” ලෙස හැඳින් වේ. කෙටියෙන් කිවහොත් එය සාමාන්‍ය පුද්ගලයෙක් සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් සිටියදී අසාමාන්‍ය වීර ක්‍රියාවක් ඉදිරිපත් කිරීමක් වැනිය. චරිතය තමාගේ නිවසින් පිටව ගොස් පරීක්‍ෂණ සහ අත්හදා බැලීම් මෙන්ම උපදේශකයන් සහ දුෂ්ඨයින් බලා සිටින වෙනත් ලෝකයට ගමන් කරයි. ඔහු හෝ ඇය පරීක්‍ෂණ සමත් වී වීරත්වය ඔප්පු කරන්නේ නම් අවසාන අදියර වන්නේ කීමට කතන්දර සහ ලබා ගත් ප්‍රඥාව සමග ආපසු නිවසට පැමිණිමයි. අවසාන කොටස තීරණාත්මකය.

යක්‍ෂාවේශ වූ මිනිසාගේ කථාව වීරයාගේ ගමනට සමීපව සමාන වේ. සිත් ගන්නා කරුණ නම් අවසාන දර්ශනයේදී එම මනුෂ්‍යයා “උන්වහන්සේ සමග යාමට” ඉඩ දෙන ලෙස යේසුස්වහන්සේගෙන් අයැදීමය (මාර්ක් 5:18). එහෙත් යේසුස්වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක: “නුඹේ නෑ මිතුරන් ළඟට යන්න” (19 පදය). මෙම මනුෂ්‍යයාගේ ගමනේදී වැදගත් වූයේ ආපසු නිවසට පැමිණ ඔහුව හොඳින්ම දන්නා මිනිසුන්ට ඔහුගේ අපූරු කථාව පැවසීමයි.

දෙවියන්වහන්සේ අප එකිනෙකාව විවිධ ආකාරවලින් සහ විවිධ අවස්ථාවන්ට කැඳවන සේක. නමුත් අපගෙන් සමහරෙකුට අපගේ ඇදහිල්ලේ ගමන තීරණාත්මක විය හැක්කේ ගෙදරට ගොස් අපව හොඳින් දන්නා අයට අපගේ කථාව පැවසීමයි. අප අතරේ කිහිප දෙනෙකු සඳහා කැඳවීම නම් “ගෙදර මෙන් තැනක් නැත” යන්නයි.