ආහාර බෙදා දීමේ ලොරියෙන් සිල්ලර බඩු බා ගැනීමට උපකාර කිරීමට තුන් හැවිරිදි බඩී සහ ඔහුගේ මව සෑම සතියකම දේවස්ථානයට ගියහ. ආහාර බෙදා දීමේ ලොරිය කැඩී ඇති බව ඔහුගේ මව ආච්චිට කියනවා ඇසුණු බඩී “අනේ නෑ.. ඔවුන් කෑම බෙදීමේ සේවය කරන්නේ කෙසේද?” කියා ඇසුවේය. අලුත් ලොරියක් ගැනීමට දේවස්ථානය මුදල් එකතු කළ යුතු බව ඔහුගේ මව පැහැදිළි කළාය. බඩී සිනාසුනි. ඔහු කාමරයෙන් පිටතට යමින් කීවේ “මට මුදල් තිබෙනවා” කියාය. ඔහු ආපසු පැමිණියේ වර්ණවත් ස්ටිකර්වලින් සැරසුණු සහ කාසි වලින් පිරුණු ප්ලාස්ටික් භාජනයක් සමගිනි. එහි ඩොලර් 38 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණි. බඩීට වැඩි යමක් නොතිබුණද තම ප්‍රජාවට දිගටම සේවය කිරීමට දේවස්ථානයට හැකි වන පරිදි දෙවියන්වහන්සේ ඔහුගේ මෙම පූජාව වෙනත් අයගේ ත්‍යාගයන් හා සම්බන්ධ කර ශීතකරණයක් සහිත නව ලොරියක් සපයා දුන් සේක.

ත්‍යාගශීලීව පිරිනමන සුළු මුදලක් වුවද දෙවියන්වහන්සේගේ දෑතේ තැබූ විට එය සෑම විටම ප්‍රමාණවත් වන්නේය. 2 රාජාවලිය 4 හි දුප්පත් වැන්දඹුවක් අනාගතවක්තෘ එලිෂාගෙන් මූල්‍ය ආධාර ඉල්ලා සිටියාය. ඔහු ඇයට පැවසුවේ ඇය සතු දේ ගෙන ඇගේ අසල්වැසියන්ගෙන් උපකාර ලබා ගෙන පසුව ඔහුගේ උපදෙස් පිළිපදින ලෙසටයි (1-4 පද). ආශ්චර්යමත් සැපයීමේ ප්‍රදර්ශනයකදී දෙවියන්වහන්සේ වැන්දඹුවගේ කුඩා තෙල් ප්‍රමාණයෙන් ඇය අසල්වැසියන්ගෙන් එකතු කර ගත් සියලුම භාජන පුරවා ගැනීමට සැළැස්වූ සේක (5-6 පද). එලිෂා ඇයට පැවසුවේ “නුඹ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලෙන් නුඹත් නුඹේ පුත්‍රයාත් රක්‍ෂා වෙන්න” (7 පදය) කියාය.

අපි අපට නැති දේ කෙරෙහි අවධානය යොමු කරන විට අප සතුව ඇති දෙයින් දෙවියන්වහන්සේ කරන විශාල දේවල් අපට මග හැරී යාමේ අවදානමට මුහුණ දෙන්නෙමු.