ඔහුගේ සම්භාව්‍ය පොත වන “ද හියුමන් කන්ඩිෂන්” හෙවත් මනුෂ්‍ය ස්වභාවය යන්නෙහි තෝමස් කීටින් මෙම අමතක නොවන කථාව බෙදා ගනියි. තම නිවසේ යතුර නැතිවූ ගුරුවරයෙක් දෑත් සහ දෙදණ බිම තබා ගෙන තණකොළ අතරේ එය සොයමින් සිටියේය. ඔහුගේ ගෝලයින් ඔහු සොයන බව දුටු විට ඔවුනුත් මෙයට සම්බන්ධ වූ නමුත් අසාර්ථක වූහ. අවසානයේදී ඔහුගේ එක් බුද්ධිමත් ගෝලයෙක් “ගුරුතුමෙනි, යතුර නැති වූයේ කොතැනකද කියා ඔබට අදහසක් තිබේද?” කියා අසන්නේය. “ඇත්ත වශයෙන්ම එය නැති වූයේ නිවස තුළදීය” කියා ගුරුවරයා පිළිතුරු දෙයි. පුදුමයට පත්වූ සිසුන් “එසේ නම් අපි එය මෙහි සොයන්නේ ඇයි?” කියා ඇසූහ. මෙයට ගුරු තුමා පිළිතුරු දෙමින් “පැහැදිළි නොවේද? මෙහි වැඩි ආලෝකයක් තිබේ” කියා කීවේය.

“දෙවියන්වහන්සේ සමග සමීප සබඳතාවයක්; දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය අභිමුඛයේ අත්දැකීම” සඳහා යතුර අපට අහිමි වී ඇත. කර්තෘවරයා වන කීටින් අවසන් කරයි. “එම අත්දැකීමෙන් තොරව වෙනත් කිසිවක් සම්පූර්ණයෙන් ක්‍රියා කරන්නේ නැත. එයත් සමග ඕනෑම දෙයක් ක්‍රියා කරයි”.

ජීවිතයේ උස් පහත්වීම් වලදී පවා අපගේ ගැඹුරු ආශාවන්ට එකම “යතුර” දෙවියන්වහන්සේ බව අමතක කිරීම කොතරම් පහසුද? නමුත් අපි වැරදි තැන් සියල්ල දෙස බැලීම නැවැත්වීමට සුදානම් වන විට දෙවියන්වහන්සේ අපට සැබෑ විවේකය පෙන්වීමට සුදානම්ව සිටින සේක. මතෙව් 11 හි යේසුස්වහන්සේ පියාණන්වහන්සේට ප්‍රශංසා කරන්නේ උන්වහන්සේගේ මාර්ග “ප්‍රඥාවන්ත සහ තේරුම් ඇත්තන්ට” නොව “ළදරුවන්ට” එළිදරව් කරන හෙයිනි (25 පදය). ඉන්පසුව “වෙහෙස වෙන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි” කියා අමතා විවේක ගැනීම සඳහා උන්වහන්සේ වෙත පැමිණෙන ලෙසට ආරාධනා කරන සේක (28 පදය).

“මෘදු හා නිහතමානී හදවතක්” ඇති අපගේ ගුරුවරයාගේ මාර්ග කුඩා දරුවන් මෙන් අප ඉගෙන ගන්නා විට අපට සැබෑ විවේකය සොයා ගත හැකිය (29 පදය). අපව නිවසට සාදරයෙන් පිළිගැනීමට ආශාවෙන් දෙවියන්වහන්සේ එහි සිටින සේක.