මට වයස අවුරුදු දහයේදී, තරුණ කණ්ඩායමේ මිතුරෙකුගෙන් නූතන ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක සංගීතය අඩංගු කැසට් පටයක් නිවසට ගෙනාවෙමි. හින්දු නිවසක හැදී වැඩුණු නමුත් යේසුස්වහන්සේ තුළ ගැළවීම ලැබූ මගේ පියා එය අනුමත කළේ නැත. ඔහුට අවශ්‍ය වුණේ අපේ නිවසේ නමස්කාර සංගීතය පමණක් වාදනය කිරීමටයි. එය ක්‍රිස්තියානි සංගීත කණ්ඩායමක් බව මම පැහැදිළි කළ නමුත් ඔහුගේ තීරණය වෙනස් නොවිය. ටික වේලාවකට පසු, ඔහු මට යෝජනා කළේ සතියක් ගීතවලට සවන් දී එම ගීත මාව දෙවියන්වහන්සේට ළං කරනවාද නැතිනම් මාව උන්වහන්සේගෙන් දුරස් කරනවාද යන්න තීරණය කරන ලෙසයි. එම උපදෙසෙහි යම් ප්‍රයෝජනවත් ප්‍රඥාවක් තිබුණි.

ජීවිතයේ පැහැදිලිවම හරි හෝ වැරදි දේවල් තිබෙන නමුත්, බොහෝ විට අපි විවාදාත්මක කාරණා සමඟ පොරබදිමු (රෝම 14:1-19). කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමේදී අපට දේව වචනයේ ඇති ප්‍රඥාව සෙවිය හැකිය. පාවුල් එපීසයේ ඇදහිලිවන්තයන් දිරිමත් කළේ “ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේසමෙන් හැසිරෙන්ට බලාගෙන,… ” ලෙසය (එපීස 5:15). හොඳ දෙමාපියෙකු මෙන්, පාවුල් දැන සිටියේ තමාට එහි සිටීමට හෝ සෑම දෙයක් සඳහාම උපදෙස් දීමට නොහැකි බවය. ඔවුන් “දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලා ගන්නේ” නම්, ඔවුන්ට තමන් ගැනම අවබෝධ කර ගැනීමටත්, “ස්වාමින්වහන්සේගේ කැමැත්ත කිමෙක්ද කියා තේරුම් ගැනීමටත්” හැකි වනු ඇත (16-17 පද). ප්‍රඥාවන්ත ජීවිතයක් යනු විවාදාත්මක විය හැකි දේ සමඟ පොරබැදීමේදී පවා දෙවියන්වහන්සේ අපට මඟ පෙන්වන පරිදි අවබෝධයෙන් හා සියුම් නුවණින් යහපත් තීරණ ගැනීමට ආරාධනා කිරීමකි.