වයස අවුරුදු අටේ සිට, ලීසා ගොතගැසීම සමඟ පොරබදමින් සිටි අතර මිනිසුන් සමඟ කථා කළ යුතු වූ සමාජ තත්ත්වයන් ගැන ඈ බිය වී සිටියාය. නමුත් ජීවිතයේ පසුකාලීනව, කථන චිකිත්සාව හේතුවෙන් ඇගේ අභියෝගය ජය ගැනීමට උපකාර වූ පසු, ලීසා අන් අයට උපකාර කිරීමට තම කටහඬ භාවිතා කිරීමට තීරණය කළාය. ඇය ආතතියෙන් පෙළෙන අයට දුරකථන ඇමතුම් මාර්ගයෙන් උපදෙස් දෙන සංවිධානයකට උපදේශකවරියක් ලෙස ස්වේච්ඡාවෙන් සේවය කිරීමට පටන් ගත්තාය.

ඊශ්‍රායෙල්වරුන්ව වහල්භාවයෙන් පිටතට ගෙනයාමට උපකාර කිරීම සඳහා කතා කිරීමේ අපහසුතාවයට මෝසෙස්ට මුහුණ දීමට සිදු විය. ඵාරාවෝ සමඟ සන්නිවේදනය කරන ලෙස දෙවියන්වහන්සේ ඔහුගෙන් ඉල්ලා සිටියද, ඔහුගේ කතා කිරීමේ හැකියාව ගැන ඔහුට විශ්වාසයක් නොතිබූ නිසා මෝසෙස් එයට විරුද්ධ විය (නික්මයාම 4:10). “මනුෂ්‍යාගේ මුඛය සෑදුවේ කවුද?” යැයි කියා දෙවියන්වහන්සේ මෝසෙස්ට අභියෝග කළසේක. පසුව උන්වහන්සේ මෝසෙස්ට සහතික වෙමින්, “මම නුඹේ මුඛය සමඟ සිට නුඹ විසින් කිය යුතු දේ නුඹට උගන්වන්නෙමියි ඔහුට කී සේක” (11-12 පද).

දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය තුළින් අපට මතක් කර දෙන්නේ උන්වහන්සේට, අපගේ සීමාවන් තුළ පවා අප තුළින් බලවත් ලෙස ක්‍රියා කළ හැකි බවයි. නමුත් අපි මෙය අපගේ හදවත් තුළ දැන සිටියත්, එය අනුව ජීවත් වීම දුෂ්කර විය හැකිය. මෝසෙස් දිගටම අරගල කළ අතර වෙනත් කෙනෙකු යවන ලෙස දෙවියන්වහන්සේගෙන් අයැද සිටියේය (13 පදය). එබැවින් දෙවියන්වහන්සේ මෝසෙස්ගේ සොහොයුරු ආරොන්ට ඔහු සමඟ යාමට අවසර දුන් සේක (14 පදය).

අප සෑම කෙනෙකුටම අන් අයට උපකාර කළ හැකි හඬක් ඇත. අප භිය විය හැකිය. අපට හැකියාවක් නැතැයි කියා සිතන්නට පුළුවනි. අපට නිවැරදි වචන නොමැති බව අපට හැඟෙන්නට පුළුවන.

අපට හැඟෙන ආකාරය දෙවියන්වහන්සේ දන්නා සේක. අන් අයට සේවය කිරීමට සහ උන්වහන්සේගේ කාර්යය ඉටු කිරීමට අපට අවශ්‍ය වචන සහ සියල්ල ලබා දීමට උන්වහන්සේට හැකිවන සේක.