මොනිකා තම පුතා නැවත දෙවියන්වහන්සේ වෙත පැමිණෙන ලෙස දැඩි ලෙස යාච්ඤා කළාය. ඇය තම පුතාගේ වැරදි මාර්ග ගැන හඬා වැලපුණ අතර ඔහු ජීවත් වීමට තෝරාගත් විවිධ නගරවල පවා ඔහුව සොයා ගියාය. තත්ත්වය බලාපොරොත්තු රහිත බවක් පෙනෙන්නට තිබුණි. නමුත් එක් දිනක් එය සිදු විය: ඇගේ පුතාට දෙවියන්වහන්සේ සමඟ බලවත් හමුවක් සිදු විය, ඔහු සභාවේ ශ්‍රේෂ්ඨතම දේවධර්මාචාර්යවරයෙකු බවට පත් විය. අපි ඔහුව දන්නේ හිපෝහි රදගුරු ඔගස්ටින් ලෙසයි.

“ස්වාමීන්වහන්ස, මම කොපමණ කල් මොරගසම්ද?” (හබක්කුක් 1:2). අනාගතවක්තෘ හබක්කුක් යුක්තිය විකෘති කළ බලයේ සිටින මිනිසුන් සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ ක්‍රියා නොකිරීම ගැන දුක් විය (4 පදය). අයුක්තිය, බලාපොරොත්තු රහිත රෝහල් ගතවීමක්, පවතින මූල්‍ය අරගල හෝ දෙවියන්වහන්සේගෙන් ඈත් වූ දරුවන් නිසා හෝ අප මොර ගසමින් මංමුලා සහගතව දෙවියන්වහන්සේ වෙත හැරී ආ අවස්ථා ගැන සිතන්න.

හබක්කුක් විලාප තබන සෑම අවස්ථාවකදීම ඔහුගේ මොරගැසීම් දෙවියන්වහන්සේට ඇසුණි. අපි ඇදහිල්ලෙන් බලා සිටින විට, අපගේ විලාපය ප්‍රශංසාව බවට පත් කිරීමට අනාගතවක්තෘවරයාගෙන් අපට ඉගෙන ගත හැකිය, මන්ද ඔහු පැවසුවේ “මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි” (3:18) කියාය. ඔහුට දෙවියන්වහන්සේගේ මාර්ග තේරුම් ගියේ නැත, නමුත් ඔහු උන්වහන්සේව විශ්වාස කළේය. විලාපය සහ ප්‍රශංසාව යන දෙකම ඇදහිල්ලේ ක්‍රියාවන් සහ විශ්වාසයේ ප්‍රකාශනයන් වන්නේය. අපි දෙවියන්වහන්සේගේ චරිතය මත පදනම්ව දෙවියන්වහන්සේට ආයාචනයක් ලෙස විලාප දෙමු. තවද උන්වහන්සේට අපගේ ප්‍රශංසාව පදනම් වී ඇත්තේ උන්වහන්සේ කවුරුන්ද යන්න මතය – එනම්, අපගේ පුදුමාකාර, සර්වබලධාරී දෙවියන්වහන්සේ මතය. එක් දිනක, උන්වහන්සේගේ කරුණාවෙන්, සෑම විලාපයක්ම ප්‍රශංසාවක් බවට පත් වනු ඇත.