අලුත් භාෂාව, පාසල්, සිරිත් විරිත්, ගමනාගමනය සහ කාලගුණය වැනි ඔවුන්ගේ අලුත් රටේ සෑම දෙයක්ම දැඩි ලෙස වෙනස් විය. ඔවුන් කවදා කෙසේ හැඩගැසෙන්නේ දැයි කල්පනා කළහ. නව දේශයක ඔවුන්ගේ නව ජීවිතයට උපකාර කිරීමට අසළ පිහිටි දේවස්ථානයක සාමාජීක පිරිසක් එකතු වූහ. පැටී නමැති කාන්තාවක් විසින් මෙම යුවළ දේශීය ආහාර වෙළඳපොළක සාප්පු සවාරියකට කැඳවා ගෙන ගියේ වෙළඳපොළේ තිබෙන දේ පෙන්වීමට සහ භාණ්ඩ මිළදී ගන්නා ආකාරය පෙන්වීමටය. ඔවුන් වෙළඳපොළේ සැරිසරන විටදී, ඔවුන්ගේ ඇස් විශාල වී පුළුල් ලෙස සිනා මුහුණක් මතු වූයේ ඔවුන්ගේ මව්බිමේදී ඔවුන් කැමතිම පලතුරක් වන දෙළුම් දුටු විටදීය. ඔව්හූ සෑම දරුවෙකුටම එක බැගින් මිළ දී ගත් අතර කෘතඥතාවයෙන් යුතුව පැටිගේ අතෙහිද දෙළුම් ගෙඩියක් තැබුවෝය. කුඩා පලතුරු සහ නව මිතුරන් ඔවුන්ගේ අමුතු, නව දේශයට විශාල සැනසීමක් ගෙනාවෝය.

දෙවියන්වහන්සේ විසින් මෝසෙස්ගේ මාර්ගයෙන්, උන්වහන්සේගේ සෙනඟ සඳහා නීති ලැයිස්තුවක් ලබා දුන් අතර ඒවාට ඔවුන් අතර සිටින විදේශිකයන්ට “නුඹලා ළඟ වාසයකරන විදේශියා නුඹලා අතරෙහිම උපන්නෙකු මෙන් වේවා” යන්නද ඇතුළත් විය (ලෙවීකථාව 19:34). “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරව” කියා දෙවියන්වහන්සේ තවදුරටත් අණ කළ සේක. දෙවියන්වහන්සේට ප්‍රේම කිරීමෙන් පසු දෙවන ශ්‍රේෂ්ඨතම ආඥාව ලෙස යේසුස්වහන්සේ මෙය හැඳින්වූ සේක (මතෙව් 22:39). මක්නිසාද දෙවියන්වහන්සේ පවා “විදේශීන් ආරක්ෂා කරන සේක” (ගීතාවලිය 146:9).

දෙවියන්වහන්සේට කීකරු වීමට අමතරව අපි අලුත් මිතුරන්ට අප රටේ ජීවිතයට අනුවර්තනය වීමට උපකාර කරන විට අපත් සැබෑ අර්ථයෙන් “පොළොවෙහි තමන්ද ආගන්තුකයන්” (හෙබ්‍රෙව් 11:13) ලෙස සිටින බව අපට මතකයට නගා ගත හැකිය. එමෙන්ම ඉදිරියේදී පැමිණෙන නව ස්වර්ගීය දේශය පිළිබඳ අපගේ අපේක්ෂාව තුළ අපට වර්ධනය විය හැකිය.