මිනිසුන් හදා ගන්නා නිල නොවන නිවාඩු ගැන මම බොහෝ විට පුදුමයට පත් වන්නෙමි. පෙබරවාරි මාසයේ පමණක් – ඇලෙන සුළු බනිස් දිනයක්, කඩු ගිලින අයගේ දිනයක් සහ සුනඛ බිස්කට් අගය කිරීමේ දිනයක් පවා ඇත! අද නිහතමානී වීමේ දිනය ලෙස නම් කර ඇත. ගුණධර්මයක් ලෙස විශ්වය පිළිගත් නිහතමානීකම සැමරීම නිසැකවම වටිනා දෙයකි. නමුත් සිත්ගන්නා කරුණ නම්, මෙය සැමවිටම එසේ නොවීමයි.

පැරණි ලෝකයේ නිහතමානීකම සලකනු ලැබූවේ දුර්වලකමක් ලෙස මිස ගුණවත් කමක් ලෙසින් නොවේ. නමුත් ඒ වෙනුවට පැරණි ලෝකයේ අගය කරනු ලැබුවේ ගෞරවයයි. කෙනෙකුගේ ජයග්‍රහණ ගැන පුරසාරම් දෙඩීමට බලාපොරොත්තු වූ අතර, ඔබ ඔබේ තත්ත්වය ඉහළ නැංවීමට උත්සාහ කළා මිස කිසිවිටෙක එය පහත් කිරීමක් කළේ නැත. නිහතමානීකම සැලකුවේ ස්වාමියාට සේවකයෙකු මෙන් පහත් වීමක් හැටියටයි. නමුත් මේ සියල්ල වෙනස් වූ බව ඉතිහාසඥයන් පවසන්නේ යේසුස්වහන්සේගේ කුරුසිපත් වීමේදීය. එහිදී, “දෙවියන්වහන්සේගේ රූපාකාරය” ලෙස සිටි තැනැන්වහන්සේ දාසයෙකුගේ ස්වරූපය ගෙන “සේවකයෙකු” වීමට තම දිව්‍යමය තත්ත්වය අත්හැර අන් අය වෙනුවෙන් මිය යාමට තමා යටහත් කළ සේක (පිලිප්පි 2:6-8). එවැනි ප්‍රශංසනීය ක්‍රියාවක් නිහතමානිකම නැවත අර්ථ දැක්වීමට බල කෙරුණි. පළමු ශතවර්ෂයේ අවසානය වන විට, ලෞකික ලේඛකයන් පවා ක්‍රිස්තුස්වහන්සේ කළ දේ නිසා නිහතමානීකම ගුණයක් ලෙස හැඳින්වූහ.

අද නිහතමානී වීම ගැන යමෙකුට ප්‍රශංසා කරන සෑම අවස්ථාවකම ශුභාරංචිය එයින් එළි දැක්වේ. මක්නිසාද යත්, යේසුස්වහන්සේ නොමැතිව, නිහතමානීකම “යහපත්” දෙයක් වීම හෝ නිහතමානී වීමේ දිනයක් හෝ ගැන සිතාගත නොහැකි වන හෙයිනි. දෙවියන්වහන්සේගේ නිහතමානී ස්වභාවය ඉතිහාසය පුරා හෙළි කරමින් ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් උන්වහන්සේගේ තත්ත්වය අත්හැරිය සේක.