මම එය හඳුන්වන්නේ “ලීන් ටු ග්‍රීන්” (කොළ පාටට නැමෙන) ආශ්චර්ය ලෙසයි. එය වසර පහළොවකට වැඩි කාලයක් සෑම වසන්ත ඍතුවකම සිදු විය. ශීත ඍතුවේ මාසවලින් පසුව අපේ මිදුලේ තණකොළ දූවිලි සහිත සහ දුඹුරු පැහැයක් ගනියි, ඒ නිසා ගමන් කරන ඕනෑම කෙනෙකු මෙම තණ කොළ දෙස බැලූ විට සිතන්නේ ඒවා වියළී ගොස් ඇත කියාය. ඇමෙරිකාවේ, කොලරාඩෝ හි කඳුකරයේ හිම ඇති නමුත් තැනිතලා දේශගුණය – “ඉදිරිපස පරාසය” – වියළි වන අතර නියඟයේ අනතුරු ඇඟවීම් වලින් පිරී ඇති අධික උණුසුම් මාසවලින් යුක්ත වන්නේය. නමුත් සෑම වසරකම මැයි මස අගදී, මා “ස්ප්‍රින්ක්ලර්” නොහොත් ජලය ඉසීමේ උපකරණය ක්‍රියාත්මක කරන්නේය – විශාල ජල ප්‍රමාණයක් නොව කුඩා, ස්ථාවර ජලය දැමීමක් පමණි. තවද සති දෙකකින් පමණ වියළි හා දුඹුරු වූ දේ සශ්‍රීක හා කොළ පැහැති දෙයක් බවට පත් වේ.

දිරිගැන්වීම කොතරම් වැදගත්ද කියා එම කොළ පැහැති තණකොළ මට මතක් කර දෙයි. එය නොමැතිව, අපගේ ජීවිත සහ අපගේ ඇදහිල්ල අප්‍රාණික දෙයකට සමාන විය හැකිය. නමුත් අඛණ්ඩ දිරිගැන්වීම් තුළින් අපගේ හදවත්, මනස සහ ආත්මයට කළ හැකි දේ පුදුම සහගතය. පාවුල් විසින් තෙසලෝනිකවරුන්ට ලියූ පළමු ලිපියේ මෙම සත්‍යය අවධාරණය කරයි. ජනතාව බියෙන් හා කනස්සල්ලෙන් පොරබදමින් සිටිය අතර ඔවුන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට තමාට අවශ්‍ය බව පාවුල්ට තේරුණි. ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එකිනෙකාව දිරිගැන්වීමේ සහ එකිනෙකාව ගොඩනැංවීමේ යහපත් කාර්ය දිගටම කරගෙන යන ලෙසයි (1 තෙසලෝනික 5:11). එවන් ප්‍රබෝධයක් නොමැතිව ඔවුන්ගේ ඇදහිල්ල වියැකී යා හැකි බව ඔහු දැන සිටියේය. එම තෙසලෝනික ඇදහිලිවන්තයන්ම, තමාට දිරිගැන්වීමක් වී, තමාව ගොඩනැංවූ නිසා පාවුල් මෙය පුද්ගලිකව අත්විඳින ලදි. එකිනෙකා දිරිගැන්වීමටත්, වර්ධනය කිරීමටත් ඔබටත් මටත් ඒ අවස්ථාවම තිබේ.