ස්කොට්ලන්ත ජාතික කලාගාරය හරහා ගමන් කරන විට, ලන්දේසි චිත්‍ර ශිල්පියෙක් වන වින්සන්ට් වැන් ගෝ ගේ බුරුසු වැඩ රාශියකින් නිර්මාණය වූ සහ විචිත්‍රවත් වර්ණවලින් යුක්ත වූ ඔලිව් ගස් සිතුවම් බොහෝමයක් වෙතට මගේ සිත ඇදී ගියේය. බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරන්නේ මෙම කෘතිය ඔලිව් කන්දේ ගෙත්සෙමන උයනේදී යේසුස්වහන්සේගේ අත්දැකීමෙන් ආභාෂය ලැබූවක් බවයි. විශේෂයෙන් මගේ නෙත ගැටුනේ සිතුවමේ කැන්වසය මත වූ ඉපැරණි ගස් අතර තිබූ කුඩා රතු පැහැති තීන්ත පැල්ලම්ය.

කඳුකරයේ පිහිටා ඇති සියලුම ඔලිව් ගස් නිසා ඔලිව් කන්ද ලෙස හැඳින්වූ මෙම කන්ද මත යේසුස්වහන්සේ තම ගෝලයා වූ යූදස් තමන්වහන්සේව පාවා දෙන බවට අනාවැකි පළ කළ රාත්‍රියේ යාච්ඤා කිරීමට එහි ගිය සේක. පාවාදීමේ ප්‍රතිඵලයක් ලෙසට උන්වහන්සේගේ කුරුසිපත් වීම දැන සිටි යේසුස්වහන්සේ දැඩි වේදනාවකින් වෙලී සිටි සේක. උන්වහන්සේ යාච්ඤා කරන විට, “උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බින්දු මෙන් බිම වැටුණේය” (ලූක් 22:44). එය බොහෝ කලකට පෙර එම මහ සිකුරාදා දින ශාරීරිකව උන්වහන්සේගේ රුධිරය වැගිරවීමට හේතු වන ප්‍රසිද්ධ මරණ දණ්ඩනයක වේදනාවට හා නින්දාවට සූදානම් වූ අවස්ථාවේ උන්වහන්සේ මුහුණ දුන් මෙම වේදනාව ගැන උයනේ සාක්‍ෂි වලින් පැහැදිලි විය.

වැන් ගෝගේ සිතුවමේ ඇති රතු තීන්ත අපට මතක් කර දෙන්නේ යේසුස්වහන්සේට “බොහෝ දේ විඳිමටත් . . .එපා කරනු ලබන්ටත්” සිදු වූ බවයි (මාර්ක් 8:31). දුක් වේදනා උන්වහන්සේගේ කතාවේ කොටසක් වුවද, එය තවදුරටත් පින්තූරයේ ආධිපත්‍යය දරන්නේ නැත. මරණයට එරෙහිව යේසුස්වහන්සේගේ ජයග්‍රහණය අපගේ දුක් වේදනා පවා පරිවර්තනය කරනු ලබන අතර එය උන්වහන්සේ නිර්මාණය කරන අපගේ ජීවිතයේ සුන්දර භූ දර්ශනයේ කොටසක් බවට පත්වීමට ඉඩ සලස්වන්නේය.