නිව් යෝර්ක් නගරයේ පිහිටි සුප්‍රසිද්ධ මෝස්තර සැළසුම් පාසැලකට ඇතුල් වීමට හැකි වීම ගැන 1917 දී එක් මැහුම් නිර්මාණකාරිනියක් අති ප්‍රමෝදයට පත් වූවාය. නමුත් ඈන් ලෝව් කෝන් පංතිවලට ලියා පදිංචි වීමට ෆ්ලොරිඩා සිට පැමිණි පසු ඇයව පිළිගත නොහැකි බව පාසැල් අධ්‍යක්‍ෂක වරයා පැවසීය. “කෙලින්ම කියනවා නම් ඔබ කළු ජාතිකයෙක් බව අප දැන සිටියේ නැත” කියා ඔහු කීවේය. ඉවත්ව යාම ප්‍රතික්‍ෂේප කළ ඇය යාච්ඤාවක් මිමුණුවාය. “කරුණාකර මට මෙහි සිටීමට ඉඩ දෙන්න”. ඇගේ අප්‍රතිහත ධෛර්යය දුටු අධ්‍යක්‍ෂක වරයා ඇයට එහි සිටින්න අවසර දුන්නත් එසේ කළේ ඇයට ඇසෙන පිණිස පසුපස දොර විවර කර තබා ඇයව සුදු ජාතිකයන්ට පමණක් සීමාවූ පංතියේ නොතබමිනි.

අනිවාර්යයෙන්ම දක්‍ෂවූ ඇය මාස හයකට ප්‍රථම සමත් වී ඇමෙරිකාවේ ජනාධිපති ආර්යයාව වන ජැකලයින් කෙනඩිද ඇතුලුව උසස් පැලැන්තියේ අයව ආකර්ශණය කර ගත්තාය. ඇගේ ලෝක ප්‍රසිද්ධ මංගල ඇඳුමද සැළසුම් කළේ ඈන්ය. ඇය මෙම ඇඳුම දෙවරක් සකස් කළාය. පළමු ඇඳුම ඇයගේ කාමරයට ඉහළින් තිබූ පයිප්පයක් බිඳීයාම නිසා විනාශ වූ හෙයින් දෙවියන්වහන්සේගේ උපකාරය සොයමින් ඇය දෙවෙනි වරට මංගල ඇඳුම සකස් කළාය.

එවැනි අත් නොහැරීමක් විශේෂයෙන් යාච්ඤාවේදී ඉතා බලවත්ය. අත්නොහැරී වැන්දඹුව ගැන යේසුස්වහන්සේ කී උපමාවේ ඇය දූෂ්‍ය විනිසුරුකරුවෙක්ගෙන් කිහිප වරක් සාධාරණය ඉල්ලා සිටියාය. පළමුවෙන් ඔහු ප්‍රතික්‍ෂේප කළේය. නමුත් “මේ වැන්දඹුව මට කරදර කරන හෙයින් ඈ නිතර ඊමෙන් මා නොපෙළෙන පිණිස ඈට යුක්තිය කරන්නෙමියි කීයේය” (ලූක් 18:5).

ඊට වඩා වැඩි ප්‍රේමයකින් “දෙවියන්වහන්සේත් තමන්ට රෑ දාවල් හඬගසන්නාවූ තමන් තෝරාගත්තවුන් ගැන යුක්තිය ඉෂ්ට නොකරන සේක්ද?” (7 පදය). උන්වහන්සේ එසේ කරන සේකැයි යේසුස්වහන්සේ කී සේක (8 පදය). උන්වහන්සේ අපව පොළඹවන හෙයින් අපිත් අප්‍රතිහත ධෛර්යයෙන් යාච්ඤා කරමින් අත්නොහැර සිටිමු. උන්වහන්සේගේ කාලයේදී සහ සම්පූර්ණ ආකාරයෙන් දෙවියන්වහන්සේ පිළිතුරු දෙන සේක.