ආචාර්්‍යය රසල් මුවර් “ජීවිත කාලයට හදා වඩාගැනීම” යන ඔහුගේ පොතෙහි දරුවෙක්ව හදා වඩා ගැනීම සඳහා අනාථ නිවසට ගිය ගමනක් විස්තර කරයි. ඔව්හු එහි ඇතුල් වන විට තිබූ නිශ්චලතාවය මවිත කරවන සුළු විය. තොටිලි වල සිටි දරුවන් හැඬුවේ නැත. ඒ ඔවුන්ට කිසිම දෙයක් අවශ්‍ය නැති නිසා නොව. පිළිතුරු දීමට තරම් කිසිවෙක් නොසළකන බව ඔවුන් ඉගෙන ගෙන සිටි හෙයිනි.

එම වචන කියවන විට මගේ හදවත රිදුම් දුන්නේය. අපගේ දරුවන් කුඩා කාලයේ ගණන් කළ නොහැකි රාත්‍රීන් ගැන මට සිහිපත් වුනි. මමත් මගේ භාර්්‍යයාවත් තද නින්දේ සිටින විට “තාත්තා මට සනීප නැහැ” එසේත් නැත්නම් “අම්මා මට භයයි” කියන ඔවුන්ගේ කෑ ගැසීමෙන් අපි තිගැස්සී පිබිදෙන්නෙමු. අපගෙන් එක් අයෙක් වහාම ඔවුන්ගේ නිදන කාමරයට යන්නේ අපට දිය හැකි උපරිම සහනය සහ සැළකිල්ල ඔවුන්ට ලබා දීමටය. දරුවන් කෙරෙහි ඇති අපගේ ප්‍රේමය උදව් ඉල්ලා කෑ ගැසීමට ඔවුන්ට හේතුවක් වූයේය.

ගීතාවලියෙහි ගීතිකා විශාල ගණනාවක් දෙවියන්වහන්සේ වෙත කෙරෙන මොර ගැසීම් හෝ විලාප වලින් හෝ යුක්තය. ඉශ්‍රායෙල්වරු ඔවුන්ගේ විලාපයන් උන්වහන්සේ වෙත ගෙන ආවේ ඔවුන්ට උන්වහන්සේ සමග තිබූ පුද්ගලික සම්බන්ධතාවය පදනම් කර ගෙනය. උන්වහන්සේගේ “කුළුඳුලා” යයි දෙවියන්වහන්සේ පැවසුවේ මෙම ජනතාවටය (නික්මයාම 4:22). එසේම වහාම ක්‍රියාත්මක වන ලෙසට ඔවුහු තම පියාණන්ගෙන් ඉල්ලා සිටියහ. එවැනි අවංක විශ්වාසයක් අපි ගීතාවලිය 25 හි දකින්නෙමු. “මා දෙසට හැරී මට කරුණා කළ මැනව….. මාගේ විපත්තිවලින් මා මුදාගත මැනව” (16-17 පද).

තම භාරකාරයාගේ ප්‍රේමය ගැන විශ්වාස කරන දරුවෝ හඬති. යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් එනම් දෙවියන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේට මොර ගැසීමට හේතුවක් ලබා දී තිබේ. උන්වහන්සේගේ මහත් වූ ප්‍රේමය නිසා උන්වහන්සේ අසන සේක. එසේම උන්වහන්සේ සළකන සේක.