ජිම් කැවියසෙල් විසින් “පැෂන් ඔෆ් ක්‍රයිස්ට්” චිත්‍රපටියේ යේසුස් මෙන් රඟපෑමට ප්‍රථමයෙන් එහි අධ්‍යක්‍ෂක මෙල් ගිබ්සන් ඔහුට අවවාද කළේ එය ඉතා අසීරු විය හැකි බවත් හොලිවුඩ්හී ඔහුගේ වෘත්තියට එය සෘණාත්මක බලපෑමක් කළ හැකි බවත්ය. කෙසේ වෙතත් “එය අපහසු වූවත් අප එය කළ යුතුය” කියා කියමින් කැවියසෙල් එම භූමිකාව භාර ගත්තේය.

චිත්‍රපටිය රූගත කරද්දී ඔහුට අකුණු සැර වැදුණි. රාත්තල් හතලිස් පහකින් බර අඩු විය. කස පහර ගැසීමේදී වැරදීමකින් ඔහුටද කස පහර වැදුණි. පසුව ඔහු පැවසුවේ “මට අවශ්‍ය වූයේ මනුෂ්‍යයන් මාව දකිනවාට නොවේ. මට ඕනෑ වුනේ ඔවුන් යේසුස්වහන්සේව දකින්නයි. හැරීම් සිදුවන්නේ ඒ තුළින්ය” යනුවෙනි. මෙම චිත්‍රපටිය කැවියසෙල්ට සහ එහි රඟපෑ අනෙක් අයට ගැඹුරින් බලපෑවේය. එය නැරඹූ අයගෙන් මිලියන කීයකගේ ජීවිත වෙනස් වූවාද කියා දන්නේ දෙවියන්වහන්සේ පමණි. ක්‍රිස්තුස්වහන්සේගේ දුක් ප්‍රාප්තිය ලෙස හැඳින්වූ මෙම චිත්‍රපටියට ගොක් ඉරිදා උන්වහන්සේගේ ජයග්‍රාහී අවතීර්ණයේ සිට උන්වහන්සේගේ පාවාදීම, අපහාසය, කස පහර කෑම සහ කුරුසපත් වීම දක්වා වූ යේසුස්වහන්සේගේ විශාලතම පීඩාවන් ඇතුළත් වන්නේය. මෙම විස්තර ශුභාරංචි හතරෙහිම දැක්වේ.

යෙසායා 53 හි උන්වහන්සේගේ පීඩාවන් සහ එහි ප්‍රතිඵල පුරෝකථනය කර තිබේ. “නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැමිණුණේය. උන්වහන්සේගේ පහර වලින් අපට සුවය ලැබී තිබේ” (5 පදය). “අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී” සිටිමු (6 පදය).

නමුත් යේසුස්වහන්සේගේ කුරුසපත් වීම සහ නැවත නැගිටීම නිසා අපට දෙවියන්වහන්සේ සමග සමාදානය තිබේ. උන්වහන්සේ විඳි වේදනාවන් උන්වහන්සේ සමග සිටීමට අපට මාර්ගය විවර කර තිබේ.