මා පැය භාගයක් පමණ රිය පදවාගෙන ගිය පසු මාගේ දියණිය ඇඬීමට පටන්ගත්තාය. “ඇයි මොකද?” කියා මා ඇසූ විට, ඇගේ සහෝදරයා ඇගේ අත තදින් මිරිකීයැයි ඇය කීවාය. “එයා මාව කෙනිත්තුවා” යැයි ඔහු කීවේය. ඔහු නරක වචන කිවූ නිසා “මම කෙනිත්තුවා” යැයි ඇය නැවත කීවාය.

දරුවන් අතර පොදුව තිබෙන මෙම ක‍්‍රමය අවාසනාවන්ත ලෙස වැඩිහිටියන්ගේ සබඳතා වලදීද දැකිය හැක. එක්කෙනෙකු අනික් අයට වැරදි කළ විට එම පුද්ගලයා වාග් ප‍්‍රහාරයක් එල්ල කරන්නේය. පළමු වරදකරු අපහාසයකින් නැවත පිළිතුරු දෙන්නේය. වැඩි වේලාවක් යන්නට පෙර කෝපය සහ රෞද්‍ර වචන සබඳතාව කඩා දමන්නේය. “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ” “කර්කශ වචනයකින් තරහ හටගනියි” “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි” (හිතෝපදේශ 12:18;15:1). සමහර විට දරුණු සහ කෲර වචන හෝ ප‍්‍රකාශයන් සමඟ කටයුතු කළ යුතු හොඳම ක‍්‍රමය කිසි පිළිතුරක් නොදීම විය හැකිය.

යේසුස්වහන්සේගේ කුරුසිපත් කිරීමට ප‍්‍රථම ආගමික නායකයෝ තම වචන වලින් උන්වහන්සේ කෝප ගැන්වීමට උත්සාහ ගත්හ (මතෙව් 27:41-43). “උන්වහන්සේ නින්දා කරනු ලැබූ කල නින්දා නොකළසේක… ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනන්වහන්සේට කාරණය භාර දුන්සේක” (1 පේතෘස් 2:23).

යේසුස්වහන්සේගේ ආදර්ශය සහ ආත්මයාණන්ගේ උපකාරය අපට වරද කරන සෙනඟට ප‍්‍රතිචාර දැක්වීමට අපට මාර්ගයක් විවෘත කරයි. ස්වාමීන්වහන්සේ මත විශ්වාසය තබන්න. ආයුධ ලෙස වචන භාවිත කිරීම අවශ්‍ය නොවේ.