1861හි ග‍්‍රීෂ්ම සෘතුවේ දී හෙන්රි වෑඞ්ස්වත් ලෝංග්ෆෙලෝගේ භාර්යාව වන ෆ‍්‍රාන්සස් ගින්නකට හසුවී ශෝචනීය ලෙස මියගියාය. ඇය නැතිව සිටි පළමු නත්තලේදී ඔහු තම දිනපොතේ “නිවාඩුව කෙතරම් දුක්බරද? කීමට වචන නැත” කියා ලියුවේය. ඊළඟ අවුරුද්ද ඊට වඩා හොඳ වූයේ නැත. “ශුභ නත්තලක්!” යැයි දරුවෝ කියති. “එහෙත් මට එය එසේ නොවේ” කියා ඔහු ලීවේය.

1863දී ඇමරිකානු සිවිල් යුද්ධය නොනැවතී ඉදිරියට ගිය අතර ලොන්ග් ෆෙලෝගේ පුත‍්‍රයා පියාගේ අකමැත්ත පිට හමුදාවට බැදී ඉතා භායානක ලෙස තුවාල ලැබුවේය. එම වසරේ නත්තල් දින රාත‍්‍රියේ තවත් වේදනා බර නත්තලක උදාව නිවේදනය කරමින් දේවස්ථානයේ ගන්ඨාර නාද වන විට ලෝංග්ෆෙලෝ තම පෑන රැගෙන “නත්තල් සීනු හඬ මට ඇසින” කියා ලිවීම ආරම්භ කළේය.

කවිය ප‍්‍රසන්න ලෙස රිද්මයානුකූලව ආරම්භවී අඳුරු පැත්තට හැරේ. “ශාපලත් කාලතුවක්කු ගර්ජනා කරමින් සාමයේ පණිවුඩයට අපහාස කරයි.” 5 සහ 6 පද වල ලෝංග්ෆෙලෝගේ විනාශය අවසානයට පැමිණියාසේය. “එම ශබ්ද මහද්වීපයේ ලිප් ගල් පෙරලෙන භූමිකම්පාවක් මෙනි. බලාපොරොත්තු කඩවී මම හිස පහත් කර ගතිමි. ලෝකයේ සාමයක් නැතැයි මම කීමි.”

එහෙත් එම අඳුරු නත්තලේ පතුළෙන් දෝංකාරදෙන බලාපොරොත්තුවේ හඬක් ඔහුට ඇසුණේය. එවිට ඔහු හත්වන පදය ලිවීය. “එවිට සීනු තව තව හඬ දුන්නේය. දෙවියන්වහන්සේ මිය ගොස් නැත. උන්වහන්සේ නිදන්නේ නැත. නපුර පැරදෙනු ඇත. ධර්මිෂ්ඨකම පවතිනු ඇත. පොළොවේ සාමයද මනුෂ්‍යයන් අතරේ සමාදානයද වන්නේය.”

යුද්ධයද ඒ සමඟ ඔහුගේ පුද්ගලික ඛේදවාචකයන් පිළිබඳ මතකයද නොනැවතින. එහෙත් නත්තල යටපත් කිරීමට එ්වාට බැරි විය. මෙසියස්වහන්සේ උපදුණුසේක. “සියල්ල අලුත් කරමි!”යි උන්වහන්සේ කියනසේක (එළිදරව් 21:5)