ඩයිනෝසේරයන් ජීවත් වෙද්දී ඔවුන් කෙබඳු වන්න ඇත්දැයි ඔබගේ කල්පනාව කුමක්ද? ලොකු දත්? කොරපොතු සහිත සමක්? දිග වලිග? චිත්‍ර ශිල්පී කේරන් කාර් මෙම වඳවී ගිය ජීවීන් විශාල බිතුසිතුවම් වලින් ප්‍රතිනිර්මාණය කරයි. ඇගේ එක් පරිදර්ශනයක් අඩි විස්සකට වඩා උස්ව සහ අඩි හැටක් දිගව තිබුණි. එහි විශාලත්වය නිසා එය සෑම් නෝබෙල් ඔක්ලහෝමා ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ තබා ගැනීම පිණිස කොටස් වලට වෙන්කර ස්ථාපනය කිරීමට ඒ සඳහා විශේෂ දක්‍ෂතාවයක් ඇති කණ්ඩායමක් අවශ්‍ය වුනි.

ඩයිනෝසරයා විසින් තමන් අඟුටුමිට්ටෙක් කළේය යන හැඟීම නොමැතිව මෙම බිතුසිතුවම ඉදිරියෙහි සිටගෙන සිටීම අපහසු වනු ඇත. “බෙහෙමොත්” (යෝබ් 40:15) නම් බලවත් සත්වයා ගැන දෙවියන්වහන්සේගේ විස්තරය කියවන විට මටද එවැනිම හැඟීමක් ඇති වන්නේය. මෙම විශාල සත්වයා ගොනෙකු මෙන් තණකොළ කන අතර උගේ වලිගය ගසක කඳකට සමාන විය. උගේ ඇටකටු යකඩ පයිප්ප මෙන් විය. ඌ ඉඳ හිට දේශීය මඩ වගුරුවල විවේක ගනිමින් කඳුකරයේ තණ බිම්වල සැරිසරයි. ගංවතුර ඉහළ යන විට බෙහෙමොත් කිසි විටෙකත් බියක් පෙන්වූයේ නැත.

උගේ මැවුම්කරුට හැර වෙන කිසිවෙකුට මෙම ඇදහිය නොහැකි සත්වයා හීලෑ කිරීමට නොහැකිය (19 පදය). දෙවියන්වහන්සේ යෝබ්ට මෙම සත්‍යය මතක් කර දුන්නේ යෝබ්ගේ ගැටළු ඔහුගේ ජීවිතයට අමිහිරි සෙවනැලි ගෙන ආ කාලයකය. ඔහු දෙවියන්වහන්සේගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගන්නා තෙක් ශෝකය, ව්‍යාකූලත්වය සහ කලකිරීම ඔහුගේ දර්ශන ක්‍ෂේත්‍රය පිරී තිබුණි. නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය සෑම දෙයකම නියම ප්‍රමාණය දැකීමට යෝබ්ට උපකාරී විය. දෙවියන්වහන්සේ ඔහුගේ සියලු ගැටලුවලට වඩා විශාල වූ අතර යෝබ්ට තනිවම විසඳා ගත නොහැකි වූ ගැටලු විසඳීමට තරම් බලවත් වූ සේක. අවසානයේදී “ඔබවහන්සේට සියල්ලම පුළුවන්” කියා යෝබ් එකඟ විය (යෝබ් 42:2).