ඉඳිකටු, කිරි, හතු, සෝපානයන්, උපත්, මී මැස්සන් සහ බ්ලෙන්ඩරයේ මීමැස්සන් යන මේමා රහස් පරීක්‍ෂක සහ “මොන්ක්” නැමැති ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන ඒඩි්‍රයන් මොන්ක් මහතාට ආරෝපණය කර ඇති භීතිකාවන්ගෙන් ඉතා සුළු කොටසක් පමණී. නමුත් දිගු කලක් තිස්සේ ඔහුගේ ප්‍රතිවාදියා වූ හැරල්ඩ් ක්‍රෙන්ෂෝ සහ ඔහු මෝටර් රථයක ඩිකියේ සිරවී සිටින බව දැනගත් විට මොන්ක් හට ඔහුගේ භීතිකාවන් ලැයිස්තුවෙන් එක් භීතිකාවක් වන ක්ලොස්ට්‍රෆෝබියා භීතිකාව (වැසුණු තැනක දිගු කාලයක් සිටීමට ඇති බිය) කපා දැමීමට හැකි වුනි.

මොන්ක් සහ හැරල්ඩ් යන දෙදෙනාම භීතියට පත්වන අතර හදිසියේම අදහසක් මොන්ක්ගේ කාංසාවට බාධා කළේය. “මම හිතන්නේ අපි මේ දෙස බලා ඇත්තේ වැරදි ආකාරයට කියායි” ඔහු හැරල්ඩ්ට කීවේය. “මේ මොටර් රථයේ ඩිකිය, මේ බිත්ති … මේවා අපව හිර කරන්නේ නැහැ… මේවා ඇත්තෙන්ම අපව ආරක්‍ෂා කරනවා. මේවා අපට අහිතකර දේවල් එනම් විශබීජ, නයා සහ නලා ශබ්දවලට අප ළඟට එන්නට ඉඩ දෙන්නේ නැහැ”. ඔහු අදහස් කරන්නේ කුමක්ද කියා දුටු හැරල්ඩ් “මේ වැසුම අපගේ මිතුරෙක්” කියා ඇස් ලොකුකර ගෙන පුදුමයෙන් කෙඳිරුවේය.

ගීතාවලිය 63 හි දාවිත්ටද ඒ හා සමානම අදහසක් තිබුණි. “වතුර නැති, වියලුණු, වෙහෙස උපදවන්නාවූ දේශයක” සිටියද දාවිත්ට දෙවියන්වහන්සේගේ බලය, මහිමය සහ ප්‍රේමය සිහිපත් වෙයි (1-3 පද). එය හරියට කාන්තාරය දෙවියන්වහන්සේගේ සැළකිල්ල හා රැකවරණය ඇති ස්ථානයක් බවට පරිවර්තනය වීමක් මෙනි. මවකගේ පියාපත්වල සැඟවී සිටින කුරුලු පැටවෙක් මෙන් දාවිත් දෙවියන්වහන්සේට ඇලී සිටින විට එම නිසරු ස්ථානයේ පවා “පෝෂ්‍යදායි අහාරයෙන්” යුත් භෝජන සංග්‍රහයක් ඔහුට භුක්ති විඳිය හැකි බවත්
“ජීවිතයට වඩා යහපත්” වූ ප්‍රේමයකින් ඔහුට පෝෂණය සහ ශක්තිය ලබා ගත හැකි බවත් ඔහු සොයා ගත්තේය (3 පදය).