තමා විසින් සිදු නොකළ මිනීමැරුමක් නිසා ක්ලිෆර්ඩ් විලියම්ස්ට මරණ දඬුවම නියම විය. මරණීය දණ්ඩනය නියම වූ දින සිට තමාට එරෙහි සාක්‍ෂි නැවත සළකා බලන ලෙසට ඔහු කළ යෝජනා නිෂ්ඵල විය. සෑම පෙත්සමක්ම ප්‍රතික්‍ෂේප කරන ලදී. එවිට නීතිඥ ෂෙලි තිබෝඩෝ ඔහුගේ නඩුව ගැන දැන ගත්තේය. විලියම්ස් වරදකරු කිරීමට කිසිදු සාක්‍ෂියක් නොමැති බව පමණක් නොව තවත් මිනිසෙක් අපරාධය ගැන පාපෝච්චාරණය කර ඇති බවද ඇය සොයා ගත්තාය. වයස අවුරුදු හැත්තෑ හයේදී විලියම්ස් නිවැරදි කරුවෙකු කොට නිදහස් කරනු ලැබීය.

අනාගතවක්තෘ වරුන් වන යෙරෙමියා සහ උරියාද දැඩි කරදරයක සිටියහ. ඔවුහු යුදාට පැවසුවේ තමන් වහන්සේගේ සෙනග පසුතැවිලි නොවන්නේ නම් දෙවියන්වහන්සේ ඔවුන්ව විනාශ කරන බවට පොරොන්දු වූ බවයි (යෙරෙමියා 26:12-13 සහ 20). මෙම පණිවුඩය යුදාහි ජනයා සහ නිලධාරීන් කෝපයට පත් කළ අතර ඔවුහු අනාගතවක්තෘන් දෙදෙනාවම මරණයට පත් කිරීමට සෙවූහ. ඔවුන්ට උරියාව අල්ලා ගැනිමට හැකි වුනි. ඔහු ඊජීප්තුවට පලා ගිය නමුත් රජුට මුහුණ දීමට ගෙන එන ලදී. “රජද ඔහු කඩුවෙන් මරා දමන ලදී” (23 පදය). ඔවුන් යෙරෙමියාව නොමැරුවේ ඇයි? එක අතකින් අභිකාම් ඔහු වෙනුවෙන් නැගී සිටි හෙයින් සහ
“යෙරෙමියා මරන්ට ඔහු සෙනග අතට පාවා නොදෙන” ලද හෙයිනි (24 පදය).

මරණයට මුහුණ දෙන කිසිවෙකු අප නොදන්නවා විය හැකිය. නමුත් අපගේ සහාය පතන අයෙකු සිටිය හැක. අයිතිවාසිකම් නැතිවී ඇති කෙනෙක්? දක්‍ෂතා බැහැර කරනු ලැබූ කෙනෙක්? හඬ නොඅසන ලද කෙනෙක්? තිබෝඩෝ හෝ අභිකාම් හෝ මෙන් පෙරට ඒම අවදානම් සහිත වූවත් එය ඉතාමත්ම නිවැරදිය. දෙවියන්වහන්සේ අපට මග පෙන්වන ආකාරයට අප පෙනී සිටිය යුත්තේ කා වෙනුවෙන්ද?