“වහාම එන්න. අපි අයිස් කන්දක හැප්පිලා”. 1912 අප්‍රේල් මස 15 වන දින අළුයම 12.25 ට ගිලෙන RMS ටයිටැනික් නෞකාවෙන් RMS කාර්පාතියේ නෞකාවේ රැහැන් රහිත ක්‍රියාකරු හැරල්ඩ් කොට්ටම්ට ලැබුණු පළමු වචන විය. ජීවිත 706 ක් බේරා ගනිමින් කාර්පාතියා නෞකාව ආපදා ස්ථානයට පැමිණි පළමු නෞකාව වනු ඇත.

දින කිහිපයකට පසු එක්සත් ජනපද සෙනෙට් නඩු විභාගයේදී කාර්පාතියා නෞකාවේ කපිතාන් සාක්‍ෂි දෙමින් කියා සිටියේ “සියල්ලම අනපේක්‍ෂිතයි….. රැහැන් රහිත ක්‍රියාකරු ඒ වන විට සිටියේ ඔහුගේ කැබින් එකේය. නිල රාජකාරියක් මත නොව, ඔහු ඇඳුම් මාරු කරමින්ම සවන් දී ගෙන සිට ඇත… සමහර විට මිනිත්තු දහයකින් ඔහු ඇඳේ සිටින්නට ඇති. එසේම අපට පණිවුඩය නොඇසෙන්න ඉඩ තිබුණී” යනුවෙනි.

සවන් දීම අත්‍යවශ්‍යය – විශේෂයෙන් දෙවියන්වහන්සේට සවන් දීම. ගීතාවලිය 85 ලිවූ කෝරාගේ පුත්‍රයෝ
“දෙවිවූ ස්වාමින්වහන්සේ කුමක් කියන සේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනගටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරන සේක. නුමුත් ඔවුහු අඥානකමට නැවත නොහැරෙත්වා. සැබවින්ම උන්වහන්සේගේ ගැළවීම උන්වහන්සේට භය වෙන්නන් සමීපයෙහිය” (8-9 පද) යනුවෙන් ලියමින් අවධනයෙන් කීකරු වන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ අවවාද විශේෂයෙන් හද කම්පා කරවන්නේ ඔවුන්ගේ මුතුන්මිත්තෙක් වූ කෝරා දෙවියන්වහන්සේට විරුද්ධව කැරළි ගසා පාළුකරයේදී විනාශ වූ හෙයිනි (ගණන් කථාව 16:1-35).

ටයිටැනික් නෞකාව ගිලී ගිය රාත්‍රියේ තවත් නැවක් ඊට ආසන්නව තිබුණු නමුත් එහි රැහැන් රහිත ක්‍රියාකරු නින්දට ගොස් තිබුණි. ආපදා සංඥාව ඔහුට ඇසුණේ නම් සමහර විට තවත් ජීවිත බේරා ගැනීමට ඉඩ තිබුණි. දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් වලට අවනත වීමෙන් අප උන්වහන්සේට සවන් දෙන විට ජීවිතයේ ඉතා තදබල ජලය පවා පැද යාමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.