පරණ පොත් සාප්පුවක “සී.එස්. ලුවිස්” යනුවෙන් සළකුණු කර ඇති පොත් පෙට්ටියක් පිරික්සිීමට මම නැවතුණු විට ගබඩා හිමියා පෙනී සිටියේය. එහි තිබෙන මාතෘකා ගැන අපි කථා බහ කරන විට ලුවිස්ගේ බොහෝ ලිවීම්වලට අනුබල දුන් ඇදහිල්ල ගැන ඔහු උනන්දුවක් දක්වනවාදැයි මම කල්පනා කළෙමි. මඟ පෙන්වීම සඳහා මම නිහඬව යාච්ඤා කළෙමි. ලුවිස්ගේ ජීවන චරිතය ගැන ලියා තිබෙන පොතක තොරතුරු මතකයට නැගුණු අතර සී.එස්.ලුවිස්ගේ චරිතය දෙවියන්වහන්සේ වෙත යොමු වූයේ කෙසේදැයි අපි සාකච්ඡා කිරීමට පටන් ගත්තෙමු. අවසානයේදී ඉක්මන් යාච්ඤාවක් අපගේ සංවාදය අධ්‍යාත්මික කාරණා වෙත යොමු කිරීම ගැන මම ස්තුතිවන්ත වූයෙමි.

පර්සියාවේ අර්තක්ෂස්තා රජු සමග කළ සංවාදයකදී ඉතා වැදගත් මොහොතකට පෙර යාච්ඤා කිරීමට නෙහෙමියා නැවතුණේය. යෙරුසලමේ විනාශය ගැන කලබලයට පත්වූ නෙහෙමියාට කෙසේ උදව් කළ හැකිදැයි රජු විමසා තිබුණි. නෙහෙමියා රජුගේ සේවකයෙක් වූ නිසා ඔහුට උදව් ඉල්ලීමට හැකියාවක් තිබුණේ නැත. නමුත් ඔහුට උදව්වක්-විශාල උදව්වක් අවශ්‍ය වුනි. යෙරුසලම යථා තත්ත්වයට පත් කිරීමට ඔහුට අවශ්‍ය වුනි. එබැවින් නගරය නැවත ස්ථාපිත කිරීම සඳහා තම රැකියාවෙන් ඉවත් වීමට ඉල්ලා සිටීමට පෙර ඔහු “ස්වර්ගයේ දෙවියන්වහන්සේට යාාච්ඤා කළේය” (නෙහෙමියා 2:4-5). ව්‍යාපෘතිය සඳහා නෙහෙමියාට ගමන් විධිවිධාන සැකසීමට සහ දැව මිළදී ගැනීමට උපකාර කිරීමටද රජු එකඟ වුනි.

“සෑම අවස්ථාවකදීම සෑම ආකාරයකම යාච්ඤා සහ ඉල්ලීම් වලින්” යාච්ඤා කිරීමට බයිබලය අපව උනන්දු කරයි (එපීස 6:18). අපට ධෛර්්‍යය, ආත්ම දමනය හෝ සංවේදිතාව අවශ්‍ය අවස්ථාවන්ද මෙයට ඇතුළත්ය. කථා කිරීමට පෙර යාච්ඤා කිරීමෙන් අපගේ ආකල්පය සහ වචන දෙවියන්වහන්සේට හැසිරවීමට ඉඩ දීමට උපකාර වන්නේය.

අද ඔබගේ වචන යොමු කිරීමට උන්වහන්සේට කෙසේ අවශ්‍ය විය හැකිද? උන්වහන්සේගෙන් විමසා දැන ගන්න.