නිලධාරියෙක් මා පරීක්‍ෂා කළ පසු මම ප්‍රදේශයේ සිර ගෙට ඇතුල්වී අමුත්තන්ගේ පොත අත්සන් කොට සෙනග පිරී සිටි ශාලාවේ වාඩිවී සිටියෙමි. මම නිසලව යාච්ඤා කළෙමි. වැඩිහිටියෝ කුසු කුසු ගාමින්ද සුසුම් හෙළමින්ද සිටි අතර කුඩා දරුවෝ බලා සිටිම ගැන කෙඳිරුවෝය. පැයකට පමණ පසු තුවක්කුවක් ගත් භටයෙකු මගේ නමද ඇතුලුව නම් ලැයිස්තුවක් කියෙව්වේය. ඔහු අපේ කණ්ඩායම වෙනත් කාමරයකට ගෙන ගොස් අපට ආසන පෙන්නුවේය. මගේ ඥාති පුත්‍රයා එහා පැත්තේ රළු වීදුරුවට එහායින් වාඩිවී දූරකථනය අතට ගත්තේය. මගේ අසරණකමේ ගැඹුර මට දරා ගත නොහැකි විය. මම කඳුළු සළද්දී දෙවියන්වහන්සේ මට සහතික වූයේ මගේ ඥාති පුත්‍රයා තවමත් උන්වහන්සේගේ හස්තයට අසුවන මානයේ සිටින බවටය.

ගීතාවලිය 139 හි දාවිත් දෙවියන්වහන්සේට පවසන්නේ “ඔබ මා විමසා බලා දැන ගත් සේක…….. මාගේ සියලු මාර්ග දැන ගෙන සිටින සේක” (1-3 පද) යනුවෙනි. සියල්ල දන්නා දෙවි කෙනෙකු පිළිබඳ ඔහුගේ ප්‍රකාශය උන්වහන්සේගේ රැකවරණය සහ ආරක්‍ෂාව ගැන (5 පදය) සැමරීමකට අපව යොමු කරයි. දෙවියන්වහන්සේගේ ඥානයේ විශාලත්වය සහ උන්වහන්සේගේ පුද්ගලික ස්පර්ශය තේරුම් ගත නොහැකිව දාවිත් අවිනිශ්චිත ප්‍රශ්න දෙකක් අසයි : “ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යන්නෙම්ද?” (7 පදය).

අප හෝ අපගේ ප්‍රියයන් බලාපොරොත්තු රහිත අසරණ අවස්ථාවල සිරව සිටින විට දෙවියන්වහන්සේගේ හස්තය ශක්තිමත්ව නොසෙල්වී පවතී. උන්වහන්සේගේ ප්‍රේමණීය මිදීමට හසු නොවන මානයක සිටී යයි අප සිතන විට පවා අප සෑම විටම උන්වහන්සේගේ හස්තයට හසුවන මානයේ සිටින්නෙමු.