සිරගෙදරදී එකම නිලධාරියාගෙන් පහර කෑමට ඩෑන් දිනපතා ලක්විය. යේසුස්වහන්සේගේ පෙළඹවීමෙන් මෙම මනුෂ්‍යයාට ප්‍රේම කිරීමට ඔහුට සිතුණි. එම නිසා එක් උදෑසනක පහරදීම ආරම්භ කිරීමට පෙර “සර් මගේ ජීවිතයේ ඉතිරි මුලු කාලයේදීම මම ඔබව දකින්න යන්නේ නම් අපි මිතුරන් වෙමු” කියා ඩෑන් කීවේය. නමුත් නිලධාරියා කීවේ “නැහැ සර්, අපට කිසි දිනෙක මිතුරන් විය නොහැකිය” කියාය. ඩෑන් බලකර ඉල්ලා සිටිමින් ඔහුගේ අත දිගු කළේය.

නිලධාරියා ගල් ගැසුණි. ඔහු වෙවුලන්න පටන් ගෙන ඩෑන්ගේ අත තදින් අල්ලා ගෙන අතහැරියේ නැත. ඔහුගේ මුහුණ දිගේ කඳුළු රූරා වැටුණි. ඔහු මෙසේ පැවසීය : “ඩෑන් මගේ නම රොසොක්. ඔබගේ මිතුරා වීමට මම කැමතියි”. එදින හෝ ඊට පසු හෝ ඔහු ඩෑන්ට පහර දුන්නේ නැත.

දේව වචනය පවසන්නේ “නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න. එසේ නුඹ ඔහුගේ ඉස පිට ගිනි අඟුරු ගොඩකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ ද නුඹට විපාක දෙනසේක” (හිතෝපදේශ 25:21-22) යනුවෙනි. “ගිනි අඟුරු” ප්‍රදර්ශනය කරන්නේ මිසර චාරිත්‍රයකි. එනම් වැරදි කළ අයෙක් පසුතැවිල්ල පෙන්නුම් කරන්නේ ගිනි අඟුරු භාජනයක් තම හිස පිට තබා ගෙන යාමයි. එසේම අපගේ කරුණාවන්ත කම සතුරාගේ මුහුණ ලැජ්ජාවෙන් රතු කර සමහර විට ඔහුව පසුතැවිල්ලට ගෙන ඒමට හේතුවක් වනු ඇත.

ඔබගේ සතුරා කවුද? ඔබ අකමැති කාටද? ඕනෑම හදවතක් ඔහුගේ සතුරාගේ හෝ ඔහුගේම වූවත් වෙනස් කිරීමට ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාවේ ශක්තිය සෑහෙන බව ඩෑන් වටහා ගත්තේය. අපටද එය දැන ගත හැකිය.