සිරගතව සිටි ජේසන්ගේ ලිපියෙන් අපි මවිත වීමු. අපි ආබාධිත අයට සේවය කළ හැකි සුනඛ පැටව් හදා වඩා ගන්නෙමු. එවැනි එක් සුනඛ පැටියෙක් ඊළඟ පුහුණු පාඩම් මාලාව සඳහා සුදුසුකම් ලබා තිබුණ අතර එය ක්‍රියාත්මක කළේ එවැනි සුනඛයන් පුහුණු කිරීමට ඉගෙන ගෙන තිබූ සිරකරුවන් අතිනි. ජේසන්ගේ ලිපියෙන් ඔහුගේ අතීතය ගැන ඔහු දුක් වන බව පවසා තිබුණි. නමුත් ඊළඟට ඔහු ලියා තිබුණේ “මා පුහුණු කළ දහහත් වන බලු පැටියා ස්නිකර්ස්ය. හොඳම සුනඛයා ඇයයි. ඇය මා දෙස බලන විට අවසානයේ මම හරි දෙයක් කර ඇතැයි මට හැඟේ” යනුවෙනි.

පසුතැවිල්ලක් ඇති එකම කෙනා ජේසන් පමණක් නොවේ. අප සියලු දෙනාටම පසුතැවිල්ල තිබේ. යූදාහී රජු වූ මනස්සේට එය බොහෝ සෙයින් තිබුණි. ලිංගිකත්වය ඉස්මතු කරන අන්‍ය ජාතික පූජාසන ගොඩ නගමින්ද (3 පදය) යන්ත්‍ර මන්ත්‍ර භාවිතා කරමින්ද ඔහුගේම දරුවන් බිලි පූජා ලෙස ඔප්පු කරමින්ද (6 පදය) ඔහු කළ කෲරකම් බොහෝමයක් 2 ලේකම් 33 හි විස්තර කර ඇත. මෙම කුරිරු මාර්ගයේ ඔහු මුලු දේශයම ගෙන ගියේය (9 පදය).

“ස්වාමින්වහන්සේ මනස්සේටත් ඔහුගේ සෙනගටත් කථා කළ නමුත් ඔව්හු ඇහුම්කන නුදුන්නෝය” (10 පදය). අවසානයේදී දෙවියන්වහන්සේ ඔහුගේ අවධානය ලබා ගත් සේක. අෂූර්වරු පැමිණ ඔහුව “අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය” (11 පදය). ඊළඟට අවසානයේ මනස්සේ යම් හරි දෙයක් කළේය. “ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමින්වහන්සේට කන්නලව් කොට …… දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී..” (12 පදය). දෙවියන්වහන්සේ ඔහුට ඇහුම්කන් දී නැවත ඔහුව රජු ලෙස පත් කළ සේක. මනස්සේ අන්‍ය ජාතික නමස්කාරය සත්‍යවූ එකම දෙවියන්වහන්සේට නමස්කාර කිරීමට මාරු කළේය (15-16 පද).

ඔබගේ කණස්සල්ල ඔබව යටකර දැමීමට උත්සාහ කරන්නේද? තවමත් ප්‍රමාද වැඩි නැත. දෙවියන්වහන්සේ අපගේ යටහත් පසුතැවිල්ලේ යාච්ඤාව අසන සේක.