“ඔබේ පාදයට කටුවක් ඇතුල් වී ඇත. ඔබ රාත්‍රියේදී හඬන්නේ ඒ නිසාය” කියා දහහතරවන සියවසේ සියෙනාහි කැතරින් ලීවාය. ඇය තවදුරටත් කියා සිටියේ, “එය ඉවතට අදින්න පුළුවන් අය මෙලොව සිටිති. මෙම දක්ෂතාවය ඔවුන් දෙවියන්වහන්සේගෙන් ඉගෙනගෙන ඇත” යනුවෙනි. කැතරින් තම ජීවිතය කැප කළේ එම “දක්ෂතාවය” වර්ධනය කර ගැනීම සඳහා වන අතර, අන් අයගේ වේදනාවන්හිදී සංවේදී වීම සහ අනුකම්පාව දැක්වීම සඳහා ඇයගේ කැපී පෙනෙන හැකියාව නිසා අදටත් ඇයව සිහිපත් කරනු ලබයි.

ගැඹුරට කාවැදී ඇති කටුවක් ලෙස එම වේදනාවේ ස්වරූපය ඉවත් කිරීම සඳහා තිබිය යුතු මුදු මොළොක් බව සහ දක්ෂතාවය මා සමඟ රැඳේ. අප කෙතරම් සංකීර්ණ හා තුවාල වී ඇත්ද යන්නත්, අන් අය සහ අප කෙරෙහි සැබෑ දයානුකම්පාව වර්ධනය කර ගැනීම සඳහා ගැඹුරට හාරා බැලීමේ අවශ්‍යතාවයත් එයින් පැහැදිලිව සිහිපත් කෙරේ.

නැතහොත් අපෝස්තලු පාවුල් එය විස්තර කරන පරිදි, යේසුස්වහන්සේ මෙන් අන් අයට ප්‍රේම කිරීම සඳහා හොඳ චේතනා සහ සුභ පැතුම් වලට වඩා වැඩි යමක් එයට අවශ්‍ය බව අපට මතක් කර දෙන රූපයකි – එයට අවශ්‍ය වන්නේ “එකිනෙකාට ස්නේහ වීමත්” (රෝම 12:10), “බලාපොරොත්තුවෙහි ප්‍රීති වීමත්; දුකේදී ඉවසිලිවන්තව සිටීමත්; යාච්ඤාවෙහි නොකඩව පැවතීමත්” (12 පදය) යනාදියයි. එයට අවශ්‍ය වන්නේ “ප්‍රීති වෙන්නන් සමඟ ප්‍රීති වෙයල්ලා” පමණක් නොව “අඬන්නන් සමඟ අඬාපල්ලා” යන්නටද කැමැත්තෙන් සිටීමයි (15 පදය). එනම්, අප සතු සියල්ලම අවශ්‍යය බවයි.

බිඳුණු ලෝකයක, අප කිසිවෙක් තුවාලයකින් තොරව ගැළවී නොයන්නෙමු. තුවාල සහ කැළැල් අප සෑම කෙනෙකු තුළම ගැඹුරින් කාවැදී ඇත. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප සොයා ගන්නා ප්‍රේමය ඊටත් වඩා ගැඹුරු ය. එය දයානුකම්පාව නමැති වේදනා නාශක ආලේපය සමග එම කටු ඇද දැමීමටද එකට සුවය සොයා ගැනීම සඳහා මිතුරා සහ සතුරා යන දෙගොල්ලන්ම වැළඳ ගැනීමට කැමැත්තක් ඇත්තාවූද තරම් මුදු මොළොක් ප්‍රේමයක්ය (14 පදය).