සාමාන්‍ය සෞඛ්‍ය පරීක්‍ෂණයක් එළිදරව් කළේ සිව් හැවිරිදි කැල්වින්ගේ ශරීරයෙහි බලාපොරොත්තු නොවූ ලප කිහිපයක් ඇති බවයි. පරීක්‍ෂණ අවස්ථාවේදී ඔහුට එන්නත් කිහිපයක් දෙනු ලැබ ඒ ස්ථාන වෙළුම් පටියකින් වසා දැමුණි. නිවසේදී ඇලෙන සුළු වෙළුම් පටි ගැළවීමට වේලාව පැමිණි විට කැල්වින් බියෙන් දැඟලීය. තම දරුවාව සැනසීම පිණිස ඔහුගේ පියා කීවේ “කැල්වින් ඔබට වේදනා දෙන කිසිවක් මම කරන්නේ නැති බව ඔබ දන්නවා” යනුවෙනි. ඔහුගේ වෙළුම් පටිය ඉවත් කිරීමේ බියට වඩා තම පුත්‍රයා තමාව විශ්වාස කිරීම පියාට අවශ්‍ය විය.

අපහසුතාවයන්ට මුහුණ දෙද්දී බියට පත් වන්නේ සිව් හැවිරිදි අය පමණක් නොවේ. ශල්‍ය කර්ම, ප්‍රියයන්ගෙන් වෙන්වීම්, මානසික හෝ මනෝමය අභියෝගයන් සහ බොහෝ දේවල් අපගේ බිය, හැඬීම් සහ කෙඳිරිගෑම් ඉස්මතු කරයි.

දාවිත්ට බිය දැණුනු වෙලාවක් වූයේ ඊර්ෂ්‍යාකාර සාවුල් රජුගෙන් පලා යමින් පිලිස්ති දේශයට ගිය අවස්ථාවයි. ඔහුව හඳුනාගත් විට ඔහුට කුමක් වේදැයි ඔහු කණස්සලු වූයේය (1 සාමුවෙල් 21:10-11 බලන්න). “දාවිත් …… ගාත්හී රජවූ ආඛිෂ්ට බොහෝ සෙයින් භය වුණේය” (12 පදය). මෙම අසීරු අවස්ථාව ගැන සිතමින් දාවිත් ලීවේ “මට භය ඇති කල්හී මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි……. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි. භය නොවන්නෙමි” (ගීතාවලිය 56:3-4) යනුවෙනි.

ජීවිතයේ අපහසුකම් අපගේ බිය ඉස්මතු කරන විට අපි කුමක් කරමුද? අපට අපගේ විශ්වාසය අපගේ ස්වර්ගීය පියාණන් මත තැබිය හැකිය.